මහ දවාලෙ ගිණි කාශ්ටක අව්වේ නගරෙ මැද්දෙ දියකිඳුරියක් රැඟුම් පානවා.ඒ ළඟම බෝනික්කෙක් පුම්බපු සායක් තියෙන ගවුමක් ඇඳගෙන හිනා පානවා.වටේටම රෝස...
මහ දවාලෙ ගිණි කාශ්ටක අව්වේ නගරෙ මැද්දෙ දියකිඳුරියක් රැඟුම් පානවා.ඒ ළඟම බෝනික්කෙක් පුම්බපු සායක් තියෙන ගවුමක් ඇඳගෙන හිනා පානවා.වටේටම රෝස මල් පිපිලා එක එක පාටින්.ඒ විතරක් නෙවේ මිකී මවුස්ලා බෙන්ටෙන්ලා එකී මෙකී නොකී සේරම කාටුන් චරිතත් වටේටම එකතු වෙලා.
නෑ නෑ මේක පාරදීසයක් නෙවේ.මේ නගරය මැද්දෙ තියෙන කේක් කඩයක්.මේ හැම කෙනෙක්ම හිටියෙත් රෝස මල් පිපිලා තිබුනෙත් කේක් කඩේ වීදුරු ශෝ කේස් එක ඇතුලේ.
සීතල කේක් කඩේ කේක් සුවඳ අරගෙන එළියට පැනගන්න බැරි නිසා හුළග තරහින් වායුසමීකරණේ අස්සට රිංගගත්තා.
සුවඳ දැනුනේ නැතත් පුංචි ඇස් හතරක් ඇස් වලින් කේක් රස වින්ඳා.කඩේ වීදුරු බිත්තියට මූණ අලෝගෙන පුංචිත්තන් කටත් ඇරගෙන පොඩිත්තො දෙන්නෙක් කේක් රස බලනවා ඔව් ඇස් දෙකෙන්.
නංගිගේ අතින් හයියෙන් අල්ල ගත්ත අයියා තප්පරේකටවත් කේක් වලින් ඇස් අහකට ගත්තේ නෑ.නංගිත් අයියට දෙවනි වුණේ නෑ.දෙන්නම තරගෙට කේක් කනවා හැබැයි හිතෙන්.
කළු ගැහුණු ඇඟවල්වලට ලොකු බාච්ජු ඇඳුම් කව්දාවත් පනාවක් නොදැකපු කොණ්ඩෙට හරියටම ගැලපුණා.පුංචි කකුල් කිව්වේ සෙරෙප්පු කියන්නේ මොනවද කියලා තමන් නොදන්න බවයි.
කේක් කන්න තියා කඩේ ඇතුලටවත් යන්න වරම් නැති පැටව් දෙන්නගේ පිටවල් පුච්චගෙන ඉර එළිය පල්ලෙහාට වැක්කෙරුණා.ඒත් දෙන්නට ගානක්වත් නෑ තාමත් කේක් කනවා ඇස් වලින්.
ඒ අතරේ කඩේ ඇතුළේ කලබලයක් පුංචි කසුකුසුවක්.මොකක්ද හේතුව.කළුම කළු ගැහැනු කෙනෙක් කේක් දිහා බල බල එහාට යනවා මෙහාට යනවා.
කොණ්ඩෙ කපුටු කූඩුවක් වගේ.අපිලිවළ ඇඳුම කොණ්ඩෙත් එක්ක එකතු වෙලා මැව්ව දර්ශනේ කොහොමටවත් ලස්සන එකක්නම් නෙවෙයි.
"කව්ද බං මේ?"
" ඊයා එයාගේ කැත බලන්නකෝ"
"මොකටද ඇවිත් තියෙන්නේ"
මුණු මුණු කසු කුසු ඇහුණ්නෑ වගේ එයා කේක් බලනවා.ඒ අතරේ දෙතුන් පාරක්ම අතේ තිබුණු සල්ලි ගණිනවා.
කේක් ගන්න ආපු පොඩ්ඩො එයාලගේ අම්මලාට මුවා වෙලා.හැමෝම අප්‍රසන්නෙන් බලනවා.
බලලා බලලා එයා රෝස මල් පිපුණු ලස්සන කේක් එකකට ඇඟිල්ල දික්කරලා මෙහෙම කිව්වා.
"මට මේක දෙනවද"
සේවිකාව අවිස්වාසයෙන් බැලුවා හරියට උඹට සල්ලි තියෙද අහන්න වගේ.ගෑණු කෙනා මිට මොලවන් හිටිය අත දිග ඇරලා කව්න්ටර් එකට අතේ තිබුණු සල්ලි කොළ ටික හැලුවා.පනහේ සීයේ කොළ ගොඩක් .
අප්පිරියාවෙන් වගේ සේවිකාව සල්ලි ටික ගනන් කරලා අරගෙන කේක් එක පෙට්ටියේ දාලා අර ගැහැණු කෙනාට දුන්නා.එයාගේ ඇස් දිලිසිලා මූණේ කළු මොහොතකට මැකුණා.
කේක් පෙට්ටියත් අරන් කඩෙන් පිටවුණු එයා හිමින් තාමත් වීදුරු බිත්තියේ මූණ තියාගෙන ඇස් වලින් කේක් කන පොඩ්ඩො දෙන්න ගාවට ගියා.වචනයක්වත් නොකියපු එයා කොලු පොඩ්ඩගේ අතේ කේක් පෙට්ටිය තියලා නංගිගේ ඔලුවත් අතගාලා පස්ස නොබලම පාරේ යන එන සෙනඟට මුහු වෙලා නොපෙනී ගියා.
පැටව් දෙන්නා තාමත් ඇස් ලොකු කරන් බලාගෙන ඉන්නවා.හැමදාම දැකපු හීනේ එයාලගේ අත් උඩ තිබුනට කොහොමද විස්වාස කරන්නේ.අන්තිමට කෙලි පැංචිට ලොකූ හිනාවක් ගියා. ඒ පාර අයියත් නංගිට එකතු වුණා.ඉර සතුට වැඩිකමට වලාකුළක් අරන් මූණ වහගත්තා.කේක් එකේ රෝස මල් දිලිසුනා.
හැමෝම කැත ගෑණි කියපු අර ගෑනු කෙනාගේ හදවත රෝස මල්වලටත් වඩා ලස්සනට දිලිසුණා.
COMMENTS